ඇති නැති අනාගත

සොයාගත්ත ‘නැතිවූ’ රටවල් ලයිස්තුව සම්පූර්ණද නැද්ද කියල දැනගන්න ක්රමයක් අපිට තිබුනෙ නෑ. අපේ සිතියමේ පෙන්වූ රටවල් වල නම් ලයිස්තුවක් සිතියමේ දකුනු අයිනේ පලවී තිබුනත් ඒ සමග සංසන්දනයට ‘පරණ’ ලයිස්තුවක් අපිට නෑ. ඒ වෙලාවේ මලික් අදහසක් ඉදිරිපත් කළා.

“අපි දැනට හෙව්වේ අපිට පෞද්ගලික ඇල්මක් හෝ දැනීමක් තියෙන රටවල් විතරයි. මම සීෂෙල්ස් හෙව්වේ ඒ හරහා ගිහින් තියෙන නිසා මිස වෙන හේතුවක් නිසා නෙවෙයි. ලලිත් සිංගප්පූරුව හෙව්වේ යාළුවෙක් එහෙන් ආපු නිසා… අපිට බැරිද ලැයිස්තුවේ මුලින් පටන්ගෙන කියවලා බලන්න අඩුපාඩු තියෙනවද කියලා?

“ලයිස්තුවක නැති දේ හොයන්නේ කොහොමද?”

නීලා හිනාවුනා.

මලික්ටත් හිනා ගියා.

“නීලා එහෙම කිව්වම මගෙ අදහස මෝඩ වගේ තමා පෙනෙන්නේ. නමුත් අපි පොඩිකාලේ එහෙම සෙල්ලමක් කළා. නම් දෙකක් කියලා, ඇල්ෆබට් එක අනුව ඒ දෙක අතරට වැටෙන නමක් සොයාගන්න. ඒක අපිට ඉගැන්නුවේ ඉන්ග්ලිශ් ටීචර්… මම ‘කලම්බො’යි ‘කැන්ඩි’යි නම් දෙක හැටියට ගත්තොත් ‘සී’ අකුරයි ‘කේ’ අකුරයි අතරේ ඕන තරම් නම් තියෙනවා. නමුත් වීරසිංහයි විජේසේකරයි අතරේ නම් අඩුයි… මට මතක හැටියට මිස් දල්පතාදු ලේසි නම් වලින් පටන්ගෙන ටිකෙන් ටික අමාරු කරා… සොරි… ගොං අදහසක් තමා!”

නීලා ආයෙත් හිනාවුනා.

“නෑ මලික්… ඔයාගෙ මිස් දල්පතාදුගෙ අදහස හොඳයි. සමහරවිට අපි රටවල්වල නම් අහලා තියෙනවා ඒවා තියෙන්නේ කොහෙද කියලා නොදැනත්… ඔයාගෙ රටවල් ‘ෆිජී’ ඇන්ඩ් ‘ෆ්රාන්ස්’ කිව්වොත් මම කියනවා ‘ෆින්ලන්ඩ්’ කියලා! සිතියම දිහා බලලා කවදාවත් ෆින්ලන්ඩ් හොයන්නෙ නැතිවුනත් නම දන්නවා! ගුඩ් වන්!”

“නීලා අපෙ පංතියේ හිටියනම් ඒ සෙල්ලමට මාරයි!”

“ඔයා ගියේ බෝයිස් ස්කූල් එකකට නිසා මම ඒ පංතියේ ඉන්නෙ නෑ කොහොමටත්”

“අපරාදේ”

නීලගෙයි මලික්ගෙයි විහිළු අතරේ පොඩි ඇල්මක් දළුලාගෙන එන බවක් මට දැනුනා.

“ඔය දෙන්නා පටන්ගන්නවද ලැයිස්තුවේ උඩින් - මම තව කෝපි ටිකක් හදනවා”

මම නැගිටලා කුස්සියට ගියේ තවම ඇස් වලින් හිනාවෙන දෙන්නගෙන් උත්තරයක් නැතුවයි.

…………………………………

මල්ලිට සඳුදා උදේ පහේ කෝච්චියේ කොළඹ යන්න ඕන නිසා මාත් එක්ක දවල් කෑමට පස්සේ නුවර ආවා.

අම්මා බල කරලා ගෙදරින් බැඳලා දුන්න කෑම ෆ්රිජ් එකේ දාලා අපි හවස් වෙලා ටවුමට ගියා, බීර එකකුත් බීලා මොකවත් කාලා එන්න. මල්ලී කියපු විදිහට ගෙනා කෑම මට දවස් දෙක තුනකට සෑහෙනවා, මල්ලී කොළඹ යන්න ඉස්සර උදේ පාන්දර ඒවගෙන් ටිකක් කෑවත්. අපි දෙන්නා ටවුමේ අවන්හලක වාඩිවුනේ අවටින් අඳුර වැටීගෙන එන වෙලාවේ.

“චියර්ස්!”

මල්ලී සද්ද නැතුව මා දිහා බලාගෙන හිටියා විනාඩියක්. එහෙම ඉඳලා අහපු ප්රශ්නේ අමුතු එකක්.

“අයියට කවදාවත් හිතුනෙ නැද්ද ආපහු නොඇවිත් ඉන්ට? මං ඇහුවේ ලංකාවට නොඇවිත් ඉන්ට…”

“ඇයි චුට්ටී එහෙම ඇහුවේ? ඕගොල්ල හිතුවද මං එහෙ නවතියි කියලා?”

“අම්මයි අක්කයි එහෙම හිතුවද මංදා… හැබැයි මට ඉඳලා හිටලා එහෙම හිතුනා…”

“ඇයි?”

“නෑ ඉතින්… ලංකාවේ කරදර වලින් අයින් වෙලා ජොලියෙ ඉන්ට තිබුනා… හොඳ කාරෙකක් එහෙමත් තියාගෙන…”

අපි දෙන්නගෙ මුහුණුවල කිසිම් හිනාවක් නෑ. මෙතන සාකච්ඡා වෙන්නේ වෙනදට වැඩිය ගැඹුරු ප්රශ්නයක්. අඩුම ගණනේ මල්ලිට හිතෙන විදිහට.

“මං බොරු කියන්නේ මොකටද චුට්ටී… සමහර වෙලාවට මට එහෙම හිතුනා තමා… හැබැයි ගෙදර එන ආසාව ඊට වැඩිය ලොකුයි… හැබැයි ඒත් සමහර වෙලාවට. හුඟක් වෙලාවට මං අනාගතේ ගැන වැඩිය හිතුවෙම නෑ!”

“මං හිතන විදිහට ඒකෙමුත් යමක් කියවෙනවා නේද? අයියට කොහෙ හිටියත් ඒක ප්රශ්නයක් නෙවෙයි වගේ”

ඒ සැරේ අපි දෙන්නම සද්ද නැතුව බීර බිව්වා ටික වෙලාවක්. අවට මේස ලඟ කකා බිබී හිටපු අයටත් මේ වගේ ප්රශ්න ඇති. සමහරවිට ඊට වැඩිය ලොකු ප්රශ්නත් ඇති. මල්ලී සිගරට් එකක් පත්තු කරේ ජනෙලෙන් එලිය බලාගෙන.

“අපි ඊයේ ගෙදර වැඩි දියුණු ගැන කතා කරනකොට මේවා හිතුනේ… අයියා ආවෙ නැත්තං මම ටෙලිෆෝන් ගැන හිතයිද? එහෙම හිතුවානම් තමා හරි - අම්මයි අක්කයි විතරක් ගෙදර ඉන්නකොට. හැබැයි ඒක මගෙ හිතට ආවෙ නෑ. ඒක සල්ලි ප්රශ්නයක් නෙවෙයි අයියා - මට සල්ලි ටිකක් හොයාගන්ට බැරිවෙන එකක නෑ. නමුත්…”

ආයෙත් සද්ද නෑ. මට යාන්තම් තේරෙනවා මල්ලී හිතන හැටි.

“මං ගෙදර ආවහම මගෙ ජීවිතේ හොඳටම වෙනස්වෙන බව ඇත්ත. හැබැයි චුට්ටිගෙ ජීවිතේ? අම්මගෙයි නංගිගෙයි? මං ඔය බාත්රූම් එහෙම ගැන කතාකරපු එක වැරදිද චුට්ටී? මං හිතුවෙ නෑ පිට රටකදී පුරුදුවුන දේ මගෙ ඕනෑකමට ගලගෙදරට ගේන්න… මං ඇත්තටම හිතුවේ අම්මයි නංගියි ගැන…”

“ඒක මං දන්නවා. ආයෙ ඒ ගැන ලේ පුච්චගන්ට ඕන නෑ… හැබැයි අම්මයි නංගියි කැමතිවෙයි අයියා ඒවට වියදම් නොකර කාරෙකක් ගත්තොත්”

“දැන් මොකටද චුට්ටී මට කාර්? කන්තෝරුවයි ගමයි අතර හැතැක්ම කීයද? බසුත් තියෙනවා නේ?... හැබැයි මට තේරෙනවා රටින් ඇවිත් කාරෙකක් ගෙනාපු නැති එක මදි කමක් හැටියට සමහරු දකින බව… උඹත් හිතන්නේ එහෙමද?”

“මං හිතුවේ ඊට වඩාලොකු දෙයක් ගැන - කාර් කෙසේ වෙතත් අයියා එයිද නැද්ද කියලා!”

මං මල්ලී දිහා ප්රවේසමෙන් බැලුවා.

“… දෙවෙනි සැරේ ඔය මම නොඑන කතාව ආවේ… ඒ අයි?”

මල්ලිත් ටිකක් වෙලා මා දිහා බලාගෙන හිටියා - මට පෙනුනේ හොඳම උත්තරේ තෝරගන්න වගේ කියලා. කතා කරේ හෙමින්.

“අයියා ගියාට පස්සේ ගෙදරට ලියුම් කීයක් ලිව්වද?”

ඒ සැරේ මමයි නිහඬ වුනේ විනාඩියකට.

“මම කවදාවත් ලියුම් ලියපු කෙනෙක් නෙවෙයි චුට්ටී… ගිය දවස්වල ලිව්වා හැබැයි පස්සේ පස්සේ ඒක අපෝවුනා… කීයක් ලිව්වද කියලා දන්නෙ නෑ”

“එකොලහයි”

“හ්ම්?”

“අයියා ලියුම් එකොලහක් ලිව්වා. පළමු මාස තුනේ හයයි, ඊලඟමාස නමයේ පහයි, එන්ට පොඩ්ඩකට ඉස්සර එකයි!”

“කවුද අප්පා ඕවා ගනං බැලුවේ?”

“අක්කයි අම්මයි සමහරවිට දන්නවා ඇති එක එක ලියුම ආපු දවසත් - අන්තිමට මට එවපු එක ඇරෙන්ට”

“ඇයි ඔය තරම් උද්‍යෝගයක් මගෙ ලියුම් වලට?”

ඒ සැරේ මල්ලී මා දිහා බැලුවේ ටිකක් අමනාපෙන් වගේ.

“මතකද අයියා කිව්වා ඉඩම් විකුනලා රට යැව්වට අයියා නයයි කියලා? අම්මා තරහ ගන්න කෙනෙක් නම් කොයි තරම් මැසිවිලි කියන්ට තිබුනද? ගිහින් අවුරුද්දකින් අපි සේරම අමතකයි වගේ. අපිට එහෙ රිසල්ට්ස්, කියවපු කොන්ෆරන්ස් පේපර්ස්… මේ මොකවත් අපිට කියලා එව්වෙ නෑ - ඒ කියන්නේ එහෙ කොහොම හිටියද, මැරිලද කියලාවත් අපි දන්නෙ නෑ… මොකවත් කියන්ට එපා - මම තවම ඉවර නෑ! අක්කා ට්රේනිං ගියාටවත් මම ටෙක් ගියාටවත් අයියා සද්ද නෑ. මේවා මට ප්රශ්න නෙවෙයි… අක්කටත් වැඩි ගානක් නෑ… හැබැයි අම්මා හොඳටම හිතේ අමාරුවෙන් හිටියේ”

මට කතාකරන්න අමාරුවුනා. ලේසියෙන් වචන එලියට ආවෙ නෑ. ඇස් වලට කදුළු ආවට කම්මුලේගලා ගියේ නෑ.

“.. මං හිතලා මතලා නොලියා හිටියෙ නෑ චුට්ටී… අම්මලා ගැන නිතර මතක්වුනත් ලියුම් ලියන එක මට පුරුදු දෙයක් නෙවෙයි - ලියලා සති දෙකක් බලාගෙන ඉන්න ඕනෑ උත්තරේකට… ටෙලිෆෝන් එහෙම තිබුනානම් වෙනස් වෙයි … ඇයි චුට්ටී උඹවත් මට මේවා ලියලා එව්වෙ නැත්තේ?”

මල්ලී කාලෙකට පස්සේ හිනාවුනා.

“ලොකු සහෝදරයන්ට උපදෙස් දෙන්ට? ඒවට මා ලඟ අවිආයුද නෑ… හැබැයි තව බීර එකක් බොන්න ආයුද ලෑස්තියි”

අපි ටික වෙලාවක් කල්පනාවෙන් බීර බිව්වා. අපි දැන්නා අතරේ තිබුන තාප්පයක් කඩා වැටුනා වගේ මට දැනුනා. එහෙම තාප්පයක් ඇති බවක් වත් මම දැනගෙන හිටියෙ නෑ. නමුත් ඒක ගොඩනගා තියෙන්නේ මම බව දැන් පැහැදිළියි. ටිකින් ටික පිටරට ජීවිතේට මම පුරුදුවෙලා තියෙන්නේ අතීතයත් සමග තිබුන සම්බන්ධ දුර්වල කරලා. මගේ හිත මේ තත්වය පිළිගන්න කොයි තරම් අකමැති වුනත් ඒකේ සත්යථාවය පෙන්වාදෙන්න මල්ලිට කැකිවුනා.

“තැන්ක්යූ චූටී - අයි නීඩඩ් දැට්! මට සමාවෙයන් ඉබ්බෙක් වගේ හැසිරුනාට! තව මගෙ වැරදි තියෙනවානම් දැන් කියන්න හොඳ වෙලාව”

“අයියට ආයෙත් වලිගෙ පෑගිලා… මම මේ වැරදි හොයනවා නෙවෙයි - අපි සේරම කැමතියි දැනගන්ට අයියගෙ එහෙ ජීවිතේ ගැන. එතකොට අපිටම හිතාගන්ට පුළුවන් අයියා ආපහු ආවේ ඇයි කියලා… නෑ… ඒක හරි නෑ - අපිට තේරෙයි අයියා ආපහු ආවෙ නැත්තං ඒ ඇයි කියලා…”

“මොනවද දැනගන්න ඕනෑ? ඒක හරියට අවුරුදු හතරක් කරපු දේ ගැන පොතක් ලියනවා වගේ වෙයි…”

“… අපිට ඒහැටි ආසාවක් නෑ අයියා උදේට කෑවේ මොනවද කියලා… නිදාගත්ත මෙට්ටේ සනීපද කියලා අපිට දැනගන්ට ඕන නෑ… අපිට නොතේරෙන භූ විද්යා කතා එපා… නමුත් එහෙ යාළුවෝ, බාසාව, සිංදු, පවුල්/නැදෑ කල්ක්රියා, දේශපාලනේ… මේවගෙන් තමා අයියගෙ එහෙ ජීවිතේ ගැන අපි දැනගන්නේ…”

මං මල්ලී දිහා බැලුවේ ටිකක් පුදුමෙන්. නිතරම් විහිළුවෙ ඉන්න මලයගෙ මුහුණේ තිබුනේ හොඳටම බරපතළ බැල්මක්. මම කතා කරන්න ඉස්සර තව බීර දෙකක් ගෙන්න ගත්තා. මේක ටිකක් දිග ප්රශ්න/උත්තර එකතුවක් වෙන්න ඉඩ තියෙනවා.

“චුට්ටී දැනගන්න ඕනෑ එක දෙයක් කියනවද මගේ ජීවිතේ ගෑන විස්තරේ පටන්ගන්න?”

“අයියට කෙල්ලෙක් හිටියද එහෙ?”

………………………………

රටවල් ලයිස්තු සෙල්ලමෙන් අපි හිතපු තරම් හොඳ ප්රතිපල ලැබුනෙ නෑ. අපේ ‘නැති රටවල්’ ලයිස්තුවට එකතුවුනේ තව රටවල් කීපයක් පමණයි. මේකට එක හේතුවක් මලික් ඉදිරිපත් කරා.

“ඉන්දුනීසියාවේ දූපත් සිය ගානක් තියෙනවා, මං හිතන්නේ. ඒවගෙන් සීයක් නැතිවෙලා ගියත් අපි දන්නෙ නෑ ඉන්දුනීසියාව තවම තියෙන නිසා”

“ඒක ඇත්ත. නමුත් අපි තව රටවල් කීපයක්ම සොයාගත්තනේ මිස් දල්පතාදුට පින් සිද්ධ වෙන්න!”

“තැන්ක්යූ නීලා - මගෙ අදහස බාගෙට විතරයි මෝඩ!”

අපි ආයෙත් සිතියමයි නම් ලයිස්තුවයි දිහාට ඇස් යොමු කරා.

“බලන්න හෛනාන් දූපත තියෙනවද කියලා - චීනෙටයි වියට්නාමෙටයි අතර. ආයෙ බෝගන්විල් - පාපුවා නිව්ගිනි වලට නැගෙනහිරෙන් ලොකු දූපතක්?”

මලික් වහාම උත්තර දුන්නා .

“හෛනාන් තියෙනවා - බෝගන්විල් කියලා එකක් නෑ ලලිත්”

මගේ හිතේ තවත්අ අදහසක් කැරකෙන්න පටන් ගත්තා. ලංකාව නැතිවූදා පටන් පිළිගෙන හිටිය මතයක ඇත්ත නැත්ත තෝරා බේරා ගන්න මේක හොඳ අවස්ථාවක් කියලා මට හිතුනා.

“… ම්…ම් … නීලට මතකයි නේද අපි මයිකල්ලත් එක්ක කතා කරනවා ලංකාවයි කිරිබතියි නැතිවුන වෙලාවල් ගැන? අපෙ රටවල් දෙකේ වෙලාවෙන් රෑ දොලහට තමා රටවල් දෙකම නැතිවුනේ - බ්රිස්බන් වෙලාවෙන් පැය හතක පරතරයක් තියලා… හරිද?”

“… ඔවු…?”

“ඒ කියන්නේ බෝගන්විල් නැතිවෙන්න ඇත්තේ එදාම රෑ දොලහට - බ්රිස්බන් වෙලාවෙන්, එකම ටයිම් සෝන් නිසා…”

“… ඔවු… ඒක වැදගත්ද?”

“නීලා නීලා නීලා! ඒක වුනේ වෙන දවසක නම්? වෙන වෙලාවකට නම්?”

“මට තේරෙන්නෙ නෑ”

මලික් කතාකළේ මා දිහා බලාගෙන.

“මං හිතන්නේ ලලිත් කියන්නේ මේ රටවල් අතුරුදහන් වීම එක සැරේම සිද්ධවුන්නේ නැත්නම් සමහරවිට රටවල් තවත් නැතිවෙනවා ඇති! නේද ලලිත්?”

“රයිට්! ඒ කියන්නේ එන සතියේ ටැස්මේනියාව නැතිවෙලා යන්න පුළුවන්… තවත් එකක්… කවුද දන්නේ ලංකාව නැතිවෙන්න ඉස්සර තව රටවල් කීයක් අතුරුදහන් වුනාද කියලා?”

අපි තුන්දෙනාම නිහඬව මුහුණෙන් මුහුණ බැළුවේ විශාල කම්පනයක ලකුණු දක්වමින්. නීලගෙ ඇස් අඳුරුයි, විශාලයි. මලික් දිග හුස්මක් ගත්තේ ඇ බාගෙට අසාගෙන. ඒ අවස්ථාවේ මගෙ හිතට දැනුන බය තරම් බයක් ලංකාව නැතුවුන දවසේවත් මට දැනුනෙ නෑ. සමහරවිට අතීතයේ සිද්ධවූ දෙයක් පිළිගැනීම පහසුයි අඩමාණ අනාගතයක් පිළිගැනීමට වැඩිය.

ඉස්සරවෙලාම කතාකළේ මලික්.

“මට ලලිත්ගෙ අදහසේ විපාක හිතාගන්නවත් බෑ... හිතාගන්න බයයි… අපි තව කොයි කාලයක් මෙහෙම ඉන්නද? හෙට උදේ වෙනකොට මොනවා වෙලා තියෙයිද?... මං හිතන්නේ අපි හෙටම අපේ අනික් අයට - ලංකා කවයට - මෙ ගැන කියන්න ඕනෑ, ඒ අයගෙ අදහස් බලන්න. සමහරවිට මේවා තේරුම් ගන්න සුරාජ් වගේ කෙනෙකුට පුළුවන්වෙයි…”

මං හිතන්නේ අපි තුන්දෙනාටම හිතුනේ ‘ඔස්ට්රේලියාව අතුරුදහන් වුනොත්…’ කියලා.